මුස්ලිම්වරුන්ගේ සේනාව යුධ වීරයින් 1000ක්, යුධ ඇඳුම් 100කින් සහ අශ්වයින් දෙදෙනෙකුගෙන් සමන්විත විය. කාෆිර්වරුන්ගේ නායකයෙකු වන උබෛ
ඉබ්නු සලුලින්ගේ නායකත්වයෙන් යුදෙව් කණ්ඩායමක් මුස්ලිම්වරුන් සමඟ සහයෝගයෙන්
යුද්ධයට යාම කැමති වූහ. එය ආරංචි වූ නබි (සල්) තුමා ඔවුන් ඉස්ලාමය වැළඳ ගත්තේ දැයි
විමසූ විට එසේ නැතැයි සහාභාවරු පිළිතුරු දුන්හ. එනිසා ඔවුන් යුද්ධයට එක් කර ගැනීම
අනුචිත බවත් ඊට හේතුව කාෆිර්වරුන් සමඟ සටන් කිරීමට තවත් කාෆිර්වරු පිරිසක් එක් කර
ගැනීම සුදුසු නොවන බවත් පෙන්වා දුන්නේය. එබැවින් අතරමඟදී කාෆිර්වරු 300ක් ඉවත්ව යෑම නිසා මුස්ලිම්වරුන්ගේ සේනා බලය 700ක් දක්වා අඩු විය.
උහද් ප්‍රදේශයට තම සේනාව සමඟ පැමිණි නබි
(සල්) තුමා කාෆිර්වරුන්ට මුහුණට මුහුණලා සිටින ආකාරයට තම සේනාව සකස් කළේය. සෑම
කණ්ඩායමකටම නායකයෙකුද පත් කළේය. උහද් කන්ද ගලින් නිම කරන ලද බලකොටුවක් මෙනි. එම
කන්ද ආශ්‍රිතව පව්වක් විය. නබි(සල්) තුමාණෝ එම ස්ථානයේ දක්ෂ දුනු ශිල්පීන් 50 දෙනෙකු අබ්දුල්ලාහ් ඉබ්නු සුබෛර් ඉබ්නු අල් අන්සාරි (රළි) තුමාගේ නායකත්වය යටතේ රඳවා තැබුවේය. ඔවුන්ගේ කාර්යය වූයේ
මුස්ලිම්වරුන්ට කොටු කර පහර දීමේ කාෆිර් උත්සහය වැළැක්වීමයි. වාතාවරණය කුමක් වුවත් මෙම ස්ථානයෙන් ඉවත් නොවී නොනවත්වා සතුරන් ඉලක්ක කොට
දුනු විඳින මෙන් අණ කළහ.
සටන ඇරඹින. මුස්ලිම්වරු සතුරන් පරාජය කොට
ජයග්‍රහණය කරා පියමං කළහ. සතුරන් පරාජය පිළිගෙන දුවනා කල්හී, මුස්ලිම්වරුන් ඔවුන් හැර ගිය දෑ (ඝනීමත් වස්තූන්) රැස් කර ගැනීමට යුහුසුලු
වූහ. පව්වේ රැදී සිටි මුස්ලිම්වරුන්ද මෙය දැක නබි (සල්) තුමාගේද ඔවුන්ගේ සේනධිපති
වු සුබෛර් (රලි) ගේද අණ නොතකා එහි ආරක්ෂාවට රැදී නොසිට ඝනීමත් වස්තූන් රැස් කිරීමට
රොක් වූහ. කෙසේ හෝ මෙය අවධානයට නතු කරගත්
සතුරු නායක කාලිද් ඉබ්නු වලීද් සෙබළුන් 100ක් සමඟ ඉදිරියට ගොස් පව්වේ බලය
තම අතට ගත්තේය. මේ නිසා සියලු අතින්ම මුස්ලිම්වරුන්ට පක්ෂව තිබූ සටන කනපිට හැරුනි.
කාලිද් හා ඔහුගේ පිරිස නොනවත්වා දුනු විද
මුස්ලිම්වරුන්ව පරාජයේ මාර්ගයට ඇඳ දැමූහ. මෙම අවස්ථාවේදී ඉබ්නු
කාමියා නැමැති කුරෛෂි සෙබළා නබි(සල්) තුමාණන් දෙසට ගල් විසි කළේය. එතුමා සිහි නැති
වී බිම ඇඳ වැටුනේය. එතුමගේ දණහිස් දෙකද, තොල්ද තුවාල වූ අතර දතක්ද කැඩිණ. එතුමා පැළඳ සිටි හිස්
ආවරණයද කැඩිණි. නබි (සල්) තුමා ඝාතනය කිරීමට වට වූ කාෆිර්වරුන්ට විරුද්ධව නොබියව
නැඟිට සටන් කළේය. ඔහුගේ උදව්වට මුඃමින්වරු පිරිසක්ද එක් වූහ. අබූ දුජානා (රළි) නබි
තුමා වෙත පැමිණි ඊතල වලින් එතුමා ආරක්ෂා කළේය. කාෆිර්වරුන්ට ප්‍රතිප්‍රහාර ලෙස
සඃද් ඉබ්නු වක්කාස් (රළි) ඊතල වලින් ප්‍රහාර දියත් කළේය. තුවාල වූ සෙබලුන්ට වතුර
පොවමින් සිටි මදීනා කාන්තාවක් වන නසීබා උම්මු අම්මාරා (රළි) තුමිය එම කාර්යය නවතා
නබි තුමා ආරක්ෂා කිරීම සඳහා කඩුවද දුනු ඊතලයද රැගෙන කාෆිර්වරුන් සමඟ සටන් කිරීමට
පටන් ගත්තාය. "උහද් යුද්ධයේදී මාගේ වම් හා දකුණු පසින් මාරුවෙන් මාරුවට මා ආරක්ෂා කරමින්
සටන් කරනු මම දුටුවෙමි" යනුවෙන් ඇයගේ නිර්භීතභාවය අගයා නබි (සල්) තුමා ප්‍රකාශ කර තිබුනේය. මුස්ලිම්වරු
දැඩි අධිශ්ඨානශීලීව යුධ වැදුන නිසා ඔවුන්ට නැවත පව්වේ බලය තමන් සතු කර ගත හැකි
විය.
නබි (සල්) තුමාව ඝාතනය කරන බවට පොරොන්දු වී
සිටි උබෛ ඉබ්නු කලබ් යුද්ධය අතරතුරදී ඒ සඳහා දැඩි උත්සහයක නියැලුණේය. නමුත් නබි
(සල්) තුමා එල්ල කල ඊතල පහරක් ඔහුගේ උගුර දණ්ඩට වැදී එතැනම මිය ගියේය. නබි (සල්)
තුමා සහභාගි වූ යුද්ධවලින් ඔහු අතින් ඝාතනය වූ එකම පුද්ගලයා මොහුය.
මෙම සටන ජය පරාජයකින් තොරව අවසන් විය. හම්සා (රලි), මුස්හබ් (රලි) ඇතුළු මුස්ලිම්වරු 70 දෙනෙකු පමණ ෂහීද් විය. තවත් අධික
පිරිසක් තුවාල ලැබූහ. කුරෛෂිවරුන්ගෙන් 23 දෙනෙකු පමණ ඝාතනයට ලක් විය. මෙම සටනින් මුස්ලිම්වරු පරිපූර්ණ පරාජයක් අත් කර නොගත්තද දැඩි අලාභයන්ටත්, කරදරවලටත් මුහුණ දුන්හ. සමහරක් ඉතිහාසඥයින් මෙය පරාජයක් ලෙසද සලකති.
මෙම යුද්ධය සම්බන්දයෙන් අල් කුර්ආනයේ මෙලෙස
සඳහන් වන්නේය.
“තවද අල්ලාහ් ඔබට දුන් පොරොන්දුව ඉෂ්ට කළේය. (උහද් යුද්ධයේදී) ඔබේ ප්‍රතිවාදීන් ඝාතනය කළ හැකිව තිබියදී ඔවුන්ව ඝාතනය කිරීමට ඔබ පසුබට විය. ඔබලා (ඔබලාට) දුන් උපදේශය ගැන තර්ක කරමින් කල් ගත කළහ. ඔබලා අපේක්ෂා කළ (ජයග්‍රහණය) ඔබලාට පෙන්නුම් කළද ඔබලා එය අත් නොකර ගත්හ. ඔබලාගෙන් මෙලොව ආශාවට යටත් වූ අයද සිටින්නෝය. පසුව ඔබලා කළ වරද තේරුම් ගැනීමට නැවත සතුරන්ව ඔබ දෙසට ඔහු යොමු කළේය. නිශ්චය වශයෙන්ම ඔහු ඔබලාට සමාව දුන්නේය. තවද අල්ලාහ් මුඃමින්වරුන්ට ඔහුගේ දායාදයන් පහළ කරන්නේය. (මතක් කර ගන්න! උහද් යුද්ධයේදී) ඔබේ පසුපස සිට නබි (සල්) තුමා ඔබලාව ඇමතුවද ඔබලා තැන තැන විසිර ගියහ. එහිදී නබි (සල්) තුමාට ඔබලා ඇති කළ වේදනාවට ප්‍රතිඵලයක් ලෙස අල්ලාහ් ඔබලා දැඩි වේදනාවට ලක් කළේය. එසේ කිරීමට හේතුව ඔබලාට ලැබිය යුතු දෑ නොලැබී ගිය විටත් ඔබලාට දුක් කරදර පැමිණියත් (කණගාටු නොවී) පසු බට නොවී කටයුතු කරවීමටය. තවද අල්ලාහ් ඔබලා කරන සියලු දෙයක්ම හොඳින් දන්නෙහිය.”
(සූරා ආලඉම්රාන් : 152-153)
නබි (සල්) තුමාගේ අණ නොතකා තම ස්වකීය
අභිලාෂයන්ට යටත් වු නිසා මුස්ලිම්වරුන්ට අත් වු ඉරණම සියල්ලන්ටම ආදර්ශයකි. මෙම සිදුවීමෙන් පසු අන්
කවරදාකවත් ඔවුන් නබි (සල්) තුමගේ අණ ප්‍රතික්ෂේප නොකලහ. මේ නිසා ඔවුන් පසු කාලයේ
ජය පිට ජය ලැබූහ. අල්ලාහ්ද ඔවුන්ගේ ජයග්‍රහණයන් විජයග්‍රහණයන් බවට පත් කලේය.
මුලාශ්‍ර :
- මුහම්මද් නබි (සල්) තුමාගේ චරිතය, ආචාර්ය මුස්තෆා සිබාඊ
- අල් කුර්ආන්
No comments:
Post a Comment