නබි ඉබ්රාහිම් (අලෛ) තුමාගේ ජීවිතයේ සිදුවූ බොහෝ දේවල් හජ් වන්දනය තුල දැකිය හැකිය. එම නිසා හජ් වන්දනයටත් ඉබ්රාහිම් නබිතුමාටත් අතර විශාල සම්බන්දතාවයක් තිබේ. තවද හජ් වන්දනය ඉස්ලාම් දහමේ අනිවාර්ය කරුණු පහෙන් එකක් වන්නේය. එය ඉටු කල යුතු කාලය සහ ස්ථානය අල්ලාහ් විසින් නියම කොට තිබේ. ඒ අනුව හජ් ඉටු කිරීම සඳහා හැකියාව තිබෙන සෑම මුස්ලිම් වරයෙකුම තම ජිවිත කාලය තුලදී අවම තරමින් එක් වතාවක් හෝ මක්කාවට ගොස් හජ් වන්දනය ඉටු කල යුතු ය.
නබි ඉබ්රාහිම් (අලෛ) තුමා ක්‍රි.පු. 1813 දී ඉරාකයේ ඉපදුනු බව සඳහන් වේ. ඒ අනුව එම ඉතිහාසයට මේ වන විට දල වශයෙන් වසර 4000 ක් පමණ ගත වී තිබේ. කෙසේ වෙතත් හජ් වන්දනයේදී ප්‍රධාන වශයෙන් සිදු කරනු ලබන්නේ ඉබ්රාහිම් නබිතුමා අල්ලාහ් වෙනුවෙන් සිදු කරනු ලැබූ කැපකිරීම් නැවත සිහිපත් කිරීමකි. ඊට හේතුව ඉබ්රාහිම් නබි තුමා අල්ලාහ් වෙනුවෙන් සිදු කල කැප කිරීම් වලට සර්වබලධාරී අල්ලාහ් විසින් ඉහල වටිනාකමක් ලබා දී තිබීමය.
හජ් වන්දනයේදී ප්‍රධාන වශයෙන් සිදු කරනු ලබන තවාෆ් කිරීම, සඊ නොහොත් සෆා සහ මර්වා කඳු ගැට දෙක අතර දිවීම, ශයිතාන්ට ගල් ගැසීම, මිනාහිදී අල්ලාහ් වෙනුවෙන් උළුහියා නොහොත් සිව්පා සතෙක් කැප කිරීම වැනි දේවල් සියල්ලම ඉබ්රාහිම් නබිතුමාගේ ජීවිතය සමග ඉතා සමීපව බැඳී පවතින්නේය.
ඉබ්රාහිම් නබිතුමා මහළු වියට පත්වන තුරු ඔහුට දරුවෙකු ලැබීමේ වාසනාව උදාවුනේ නැත. එසේ තිබියදී ඉබ්රාහිම් නබි තුමාට දාව ඔහුගේ භාර්යාව වන හාජරා තුමිය ඉස්මායිල් නබිතුමාව ඔහුගේ 80 වන වියේදී මෙලොවට බිහි කළාය. කෙසේ වෙතත් අල්ලාහ්, ඉබ්රාහිම් නබි තුමාගේ විශ්වාසය පරික්ෂා කොට බැලීම සඳහා එම දරුවා ඔහු වෙනුවෙන් කැප කරන ලෙස නියෝග කළේය. ඉබ්රාහිම් නබිතුමා ද එම නියෝගය ඉටු කිරීම සඳහා කැමැත්තෙන් ඉදිරිපත් විය. ඔහුගේ පුත් ඉස්මයිල් නබි තුමා ද ඊට සම්පුර්ණ එකඟතාවය පල කළේය. ඒ අනුව මෙම දෙදෙනා අල්ලාහ්ගේ නියෝගය ඉටු කිරීම සඳහා සුදානමින් මීනා දෙසට පිය නගමින් සිටියදී ශයිතාන් පැමිණ ඔවුන් දෙදෙනාට බාදා කොට තිබේ. ඉබ්රාහිම් නබිතුමා එම අවස්ථා තුනේදීම ශයිතාන්ට ගල් වලින් පහර දී එළවා දැම්මේය. අවසානයේදී ඉබ්රාහිම් නබිතුමා ඉස්මයිල් නබිතුමව කැප කිරීමට සුදානම් වනවාත් සමග ජිබ්රිල් (අලෛ) දේවදුතයා පැමිණ ඔහුගේ උත්සාහය අල්ලාහ් පිළිගත් බව පවසා ඉස්මයිල් නබි තුමා වෙනුවට ජිබ්රිල් (අලෛ) දේවදුතයා ගෙනෙන ලද බැටළුවා කැප කරන ලෙස නියෝග කොට තිබේ. අද හජ් වන්දනාවේ යන බැතිමතුන් ශයිතාන්ට ගල් ගැසීමෙන් සහ අල්ලාහ් වෙනුවෙන් උළුහියා ඉටු කිරීමෙන් මෙම ක්‍රියාවන් දෙක සිහිපත් කරන්නෝය. ඉබ්රාහිම් නබිතුමා එදා ශයිතාන්ට ගල් ගැසූ ස්ථානයන් තුනෙහිම අද කුළුණු තුනක් ස්ථාපනය කොට ඇත.
තවත් අවස්ථාවකදී අල්ලාහ්, ඉබ්රාහිම් නබිතුමාට සිය භාර්යාව වන හජරා තුමියව ඇයගේ ළදරුවාත් සමග කාන්තාරයේ හැරදමා පැමිණීමට නියෝග කළේය. ඇත්තෙන්ම මෙය ලෙහෙසි පහසු කාර්යයක් නොවුනත් ඉබ්රාහිම් නබිතුමා අල්ලාහ් කෙරෙහි තබා තිබුණු දැඩි විශ්වාසය නිසා එම කටයුත්ත කිරීම සඳහා ඉදිරිපත් විය. මෙම නියෝගය ලැබෙන විට මක්කාවේ සම්සම් ලිඳ හෝ මිනිස් වාසයක් හෝ තිබුනේ නැත. එසේ තිබියදී ඉබ්රාහිම් නබිතුමා අල්ලාහ්ගේ නියෝගය ඉටු කලේ අල්ලාහ් කෙරෙහි තිබුණු දැඩි විශ්වාසය නිසාය. ඉබ්රාහිම් නබිතුමා සිය භාර්යාව කාන්තාරයේ හැර දමා යන අවස්ථාවේදී හජරා තුමිය ඉබ්රාහිම් නබිතුමාගෙන් විමසන ලද්දේ ඔහු ඉටු කලේ අල්ලාහ්ගේ නියෝගයක් දැයි පමණි. එවිට ඉබ්රාහිම් නබිතුමා "ඔව්" යැයි පැවසා ඇති අතර හාජරා තුමිය පවසා ඇත්තේ එසේ නම් ඇයට අල්ලාහ්ගේ පිහිට ප්‍රමාණවත් බවයි.
හාජරා තුමිය ගෙන ගිය ජලය සහ අහාර අවසාන වූ පසු ඉස්මායිල් දරුවා බඩගින්නෙන් හඬන්නට විය. හජරා තුමියට එම අවස්ථාවේදී කල හැකි කිසිවක් නොවිය. එබැවින් ඇය අසල පිහිටි සෆා කඳු ගැටයට නැග ඈත කිසිවෙකු සිටිනවාදැයි විපරම් කොට බැලුවාය. එහෙත් කිසිවෙකු එම කාන්තාරයේ දැක ගත නොහැකි විය. එවිට ඇය ඒ අසල තිබුණු මර්වා කඳු ගැටයට දිව ගොස් අසල කව්රුවත් සිටිනවා දැයි බැලුවාය. එහෙත් ඇයට එහිදීද කිසිවෙකු දැක ගැනීමට හැකි වුයේ නැත. මෙලෙස මාරුවෙන් මාරුවට ඇය 7 ත් වතාවක් සෆා-මර්වා කඳු ගැට දෙක අතර දුවමින් සිටියදී ඉස්මයිල් දරුවාගේ පාදය අසලින් දිය උල්පතක් මතු වනු ඇය දුටුවාය. එවිට ඇය එතැනට ගොස් එම ජල උල්පත වටා පස් එකතු කර එය තම අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට යොදා ගත්තාය. පසුව එම ස්ථානය ක්‍රමක් ක්‍රමයෙන් ජනාවාසයක් බවට පත්විය. අද වන විට එම උල්පත සම්සම් ලිඳ බවට පත්වී තිබේ. එය බැලූ බැල්මට සාමාන්‍ය ලිඳක් මෙන් දිස් වුවද දිනකට ඉන් ජලය ලීටර් මිලියනයකට වඩා පොම්ප කරන්නේය. හජ් වන්දනය සඳහා යන මිලියන 40 ක් පමණ වන ජනයා එම ජලය තම නිවෙස් වලටද රැගෙන යන්නෝය. ඇත්ත වශයෙන්ම එය අදටත් හාස්කමකි.
ඉබ්රාහිම් නබිතුමාට පමණක් නොව ඕනෑම මුස්ලිම්වරයෙක් අල්ලාහ් කෙරෙහි ස්ථිර ලෙස විශ්වාස කරන්නේ නම් ඔහුට ඉබ්රාහිම් නබිතුමාට ලබුනාක් මෙන් උදව් ලැබීම ස්ථිරය. එහෙත් එය අහසින් කඩා වැටෙන්නාක් මෙන් නොලැබෙන බව තේරුම් ගත යුතුය. හාජරා තුමිය පවා ඇය ගෙන ගිය ආහාර අවසන් වූ පසු අල්ලාහ්ගේ උදව් ලැබෙන තුරු අත්දෙක බැඳගන බලා සිටියේ නැත. ඇයට පුළුවන් උත්සාහය ඇය සිදු කාලය. ඉන් පසු අල්ලාහ් ලෝකය පවතින තුරු දැකිය හැකි උදව්වක් ඇය වෙනුවෙන් යවනු ලැබිය. එසේම ඉබ්රාහිම් නබිතුමා කල කැපවීම නිසා එතුමාගේ පරම්පරාවෙන් බොහෝ නබිවරුන් පහළ විය. නබි ඊසා (අලෛ)ද මුහම්මද් නබි (සල්) තුමාද එතුමාගේ පරම්පරාවෙන් පැවත එන නබිවරුන් වෙති.
හජ් කිරීමට හැකියාව තිබෙන සෑම මුස්ලිම් පිරිමියෙකු සහ කාන්ත්වක්ම එම වගකීම ඉටු කල යුතුය. අල්ලාහ් විසින් පිළිගනු ලැබූ හජ් වන්දනය ඉටු කරනු ලැබූ තැනැත්තාගේ සියලුම පව් සමා කරනු ලබන්නේය. එහෙත් ඔහු ණයක් රැගෙන තිබුනේ නම් එය නැවත ගෙවීම අනිවාර්ය වේ. හජ් වන්දනය අනිවාර්ය වූ කෙනෙකු එය ඉටු නොකර මිය ගොස් සිටියේ නම් වෙනත් කෙනෙකුට ඔහු වෙනුවෙන් හජ් වන්දනය ඉටු කල හැකිය.
කතෘ : ෆාසි අජ්වාඩ් B.Sc(Sp.Phy)Hons.J.Pura
උපුටා ගැනීම www.truepath1.blogspot.com වෙබ් අඩවිය ඇසුරෙනි.
No comments:
Post a Comment