"මෙයට පසුද නුඹලාගේ හදවත් ගල් පර්වත මෙන් නැතිනම් එයටත් වඩා දැඩිව ඝන විය. මක්නිසාද යත් නියතව සමහර ගල් පර්වතවලින් ගංගා උතුරා ගලයි. තවද නියතව ඒවායෙහි සමහරක් පැලී යාම හේතුවෙන් ජලය පිටවීම් ද ඇත. අල්ලාහ්ට ඇති බියෙන් පෙරලී වැටෙන ගල් පරද නියතව ඒවායෙහි ඇත. නුඹලා කරන දෑ ගැන අල්ලාහ් සැලකිලිමත් නොවන්නෙකු නොවේ" (අල්කුරානය 2: 74).
ඉහත දැක්වෙන කුර්ආන් වැකිය පහළ වුයේ නබි මුසා (අලෛ) තුමාගේ අනුගාමිකයින් සම්බන්දවයි. අල්ලාහ් ඔවුන්ට මළවුන් නැගිටුවා පෙනුවේය. මුහුද දෙබෑ කොට පෙනුවේය. එසේ තිබියදීත් ඔවුන්ගේ සිත් දැඩි විය. එම නිසා ඔවුන්ගෙන් වැඩි දෙනා අල්ලාහ් කෙරෙහි විශ්වාස කරන්නේ නැත.
උඩඟුකම නොහොත් අහංකාරය යනු තවත් කෙනෙකුව පහත්කොට සැලකීමයි. කෙනෙක් අලංකාර වස්ත්‍ර ඇඳීම හෝ වටිනා වාහනයක ගමන් කිරීම උඩඟු කම නොවේ. එහෙත් ශයිතාන්, ආදම් තුමාට සුජුද් නොකළේ ඔහුගේ උඩඟුකම නිසාය. පහත දැක්වෙන කුරආන් වැකියෙන් එය පැහැදිලි වන්නේය.
"මා අණ කල කල්හි නුඹ සුජුද් නොකර සිටීමට හේතුව කුමක්දැ"යි (අල්ලාහ් ඉබ්ලිස්ගෙන්) ඇසු කල්හි, ඉබ්ලිස්: 'මා ඔහුට වඩා උසස් වන්නෙමි, නුඹ මාව ගින්නෙන් මවා ඇති අතර ඔහුව කිරි මැටියෙන් මවා ඇතැ'යි පැවසුවේය" (අල් කුරානය 7:12).
මුල්වරට උඩඟුකම පෙන්නුවේ ශයිතාන් ය. එම නිසා සාතන්ව ස්වර්ගයෙන් නෙරපන ලදී. කෙනෙකුගේ සිතේ අංශු මාත්‍රයක් හෝ උඩඟුකම තිබේ නම් ඔහු ස්වර්ගයට නොයන බව නබිතුමා පවසා ඇත. තවද උඩඟු කම නිසා අල්ලාහ්ගේද මිනිසුන්ගේද අප්‍රසාදයට ලක් වන්නේය.
"ඔහු (අල්ලාහ්) අහංකාරය පෙන්වන්නන්ව ප්‍රිය නොකරන්නේය" (අල් කුරානය 16:23).
නබිවරුන්ගේ ජිවිත නිහතමානි කමට උදාහරණ ලෙස ගත හැකිය. ඊජිප්තුවේ රජකම් කල ෆිර්අවුන් අහංකාර සිත් ඇත්තන් සඳහා උදාහරණයට ගත හැකිය. ෆිර්අවුන් ඔහුගේ රජකම ආරක්ෂා කර ගැනීම සඳහා අලුත බිහිවූ සියලුම පිරිමි ළදරුවන් ඝාතනයට ලක් කළේය. ඔහු එසේ කලත් අල්ලාහ්ගේ සැලසුම අනුව නබි මුසා (අලෛ) තුමා ඉපදී ඔහුගේ මාලිගාවේම හැදී වැඩුනේය.
නුතන සමයේ හිට්ලර් මුසලෝනි වැනි අය දැඩි සිත් ඇති අය සඳහා උදාහරණයට ගත හැකිය. ඔවුන් දෙදෙනා විසින් තනි තනිවම මිලියන ගණනාවක් අහිංසක මිනිසුන් ඝාතනය කොට ඇත. ඒ හැරුණු විට ඇතැමුන් තමන්ගේ වෘත්තීය නිසා උඩඟු වෙති. සමහරු දේශපාලන බලය නිසා උඩඟු වෙති. තවත් සමහරු දනය නිසා උඩඟු වෙති. කොතරම් උඩඟු වුවත් මරණයෙන් පසු ඔවුන් මල මිනියක් පමණි. මුස්ලිම් මරණයක් නම් ඔහුට මරණයෙන් පසු ලැබෙන්නේ සුදු රෙදි කඩ තුනක් පමණි. කොතරම් මිළ අධික මිනි පෙට්ටියක භූමිදානය කලත් උඩඟු වුවන්ට මරණයෙන් පසු ලැබෙන්නේ නිරය යි.
ඉස්ලාමයේ දෙවන කලීෆා වන උමර් (රලි) තුමා කොතරම් නිහතමානිව කටයුතු කලේද යත් ඔහු රාත්‍රී කාලයේදී වෙස්වලාගෙන ගොස් මිනිසුන්ගේ සුව දුක් සොයා බලා ඇත. කලීෆා වරයෙක් වන ඔහුට එවැනි දෙයක් කිරීමට අවශ්‍ය නැත. නමුත් අල්ලාහ් පිළිබඳ බිය නිසා ඔහු නිහතමානී ලෙස මිනිසුන්ගේ සුව දුක් සොයා බැලීම සඳහා රාත්‍රී මුර සංචාරයේ ගොස් තිබේ.
උඩඟුකම සාමාන්‍ය ජනයා අතර පමණක් නොව ඇතැම් ආගමික විද්වතුන් ලඟත් දැකිය හැකිය. විනිශ්චය දිනයේදී ඔවුන්ව කැඳවා ඔවුන්ට දෙනු ලැබූ දැනුමෙන් කුමක් කළේදැයි ප්‍රශ්න කිරීමට නියමිතය. එවිට ඔවුන් අල්ලාහ් වෙනුවෙන් දැනුම ලබාගෙන අල්ලාහ් වෙනුවෙන්ම අනෙක් අයට කියා දුන් බව පවසනු ඇත. එවිට අල්ලාහ් ඔවුන් පවසන්නේ බොරුවක් බවත් ඔවුන් එසේ කලේ ප්‍රසිද්ධිය වෙනුවනේ බවත් පවසා නිරයට දමනු ඇත.
අහංකාරකමේ උච්චතම අවස්ථාවක් වන්නේ කෙනෙක් සත්‍යය දැක දැකත් ඊට පිටු පෑමය. ඒ අන් කිසිවක් නිසා නොව සත්‍යය පිළිගැනිම ඔවුන්ට මදි පුංචිකමක් නිසාය. එබැවින් ඔවුන්ට අත්වන්නේද ශයිතාන්ට අත්වූ ඉරණම වන්නේය.
එබැවින් නිරයට මඟ පාදන උඩඟුකමින් ඈත් වී නිහතමානී කාරුණික පුද්ගලයින් ලෙස අප ජීවිත හැඩගස්වා ගනිමු.
කතෘ : ෆාසි අජ්වාඩ් B.Sc(Sp.Phy)Hons.J.Pura
No comments:
Post a Comment