පොරොන්දු රැක ගැනීම
මුස්ලිම්වරයෙකු සතු විය යුතු අනිවාර්ය ගුණාංගයක් සේම සෑම අවස්තාවකදීම පොරොන්දු රැකීමෙහි
ලා ස්ථීරව සිටිය යුතු බව ඉස්ලාම් අවධාරණය කරයි.
පොරොන්දු රැකීම
මඟින් ඊමානයද පරිපූර්ණ වන්නේය.
“විශ්වාසවන්තයිනි, පොරොන්දු ඉටු කරන්න.” (05:01) යනුවෙන් අල්ලාහ් අල් කුර්ආනයේ අණ කර සිටින්නේය.
අනෙකුත් සමාජයන්
සමඟ මුස්ලිම් සමාජය සැසඳීමේදී පොරොන්දු රැකීමේ ගුණාංගය ප්රධාන සාධකයක් වන්නේය. ඉස්ලාම් සහ මුස්ලිම්
ප්රජාව පිළිබඳ යහපත් ප්රතිරූපයක් ගොඩනැඟීමටද මෙම පොරොන්දු ඉටු කිරීමේ ගුණාංගය ඉවහල්
වන්නේය.
"තවද, ඔබලාගේ පොරොන්දු (පරිපූර්ණව) ඉටු කරන්න. නියත වශයෙන්ම (කියාමත් දිනයේදී) පොරොන්දු පිළිබඳව (ඔබව) ප්රශ්න කිරීමට ලක් කරනු ලබන්නේය." (17:34)
"මා කියාමත් දිනයේදී පාර්ශව 3කට විරුද්ධව පෙනී සිටිමී. (ඉන් එක් පාර්ශවයක් වන්නේ) අල්ලාහ්ගේ නමින් දිවුරා පොරොන්දු වී එය කඩ කරන්නන්ය." යනුවෙන් නබි (සල්) තුමාණන් පැවසූහ. (බුහාරි / ඉබ්නු මාජා)
පොරොන්දු කඩ කිරීම
වංචනිකයෙකුගේ ගුණාංගයකි.
"වංචනිකයන්ගේ ගුණාංග 3කි. කතා කළ විට බොරු පවසයි. පොරොන්දු කඩ කරයි. විශ්වාසය කඩ කරයි." යනුවෙන් නබි (සල්) තුමා පවසා ඇත. (බුහාරි / මුස්ලිම්)
"කවරෙකු තම වචනයෙහි ස්ථීර නොවන්නේද ඔහු තුළ ධර්මයද නොපවතී." යනුවෙන් නබි (සල්) තුමා පවසා ඇත. (අහ්මද් / තබරානි)
මෙහිදී ධර්මය නොපවතී
යන්නෙන් පරිපූර්ණ දේව විශ්වාසය නොමැති බව අදහස් වන්නේය.
පොරොන්දු රැකීමේදී
කොතරම් සැලකිලිමත් විය යුතුද යන්න නබි (සල්) තුමාගේ ජීවිතය දෙස බැලීමදී පැහැදිලි වන්නේය.
නබි (සල්) තුමාණන් සහ ඔහුගේ පිරිස බද්ර් සටනට සූදානම් වෙමින් සිටින අවස්ථාවේදී අබූ හුසෛල් (රළි) සහ හුදෛෆා ඉබ්නු යමාන් (රළි) යන සහාබිවරු දෙදෙනා මක්කාවේ සිට බද්ර් සටනට සහභාගී වීමට පැමිණියෝය. මොවුන් මක්කාවේ සිට පිටත් වීමේදී කුරෛෂී කාෆිර්වරු මොවුන්ව හරස් කර ඔබලා බද්ර් සටනට සහභාගී වීමටද යන්නේ දැයි විමසූහ. එම අවස්තාවේදී කරකියා ගත නොහැකිව ලතැවුනූ සහාබිවරු දෙදෙනා ඔවුන්ගෙන් බේරීමේ අරමුණින් "නැත" යැයි පිළිතුරු දුන්නෝය. එම පිළිතුරින් සෑහීමකට පත් නොවූ කාෆිර්වරු ඔවුනට පොරොන්දු වන මෙන් පැවසූහ. මොවුන්ද පොරොන්දු වී මක්කාවෙන් පිටත් වූවෝය.
මදීනාවට පැමිණි සහාබිවරු දෙදෙනා මෙම සිදුවීම පිළිබඳ නබි (සල්) තුමාණන් දැනුවත් කලහ. එවිට නබි (සල්) තුමා "ඔබලා දැන්ම පිටත් වන්න. ඔබලා දුන් පොරොන්දුව කඩ නොකරන්න. අපි අල්ලාහ්ගෙන්ම පිහිට පතමු." යනුවෙන් පවසා ඔවුන් පිටත් කර හැරියේය. (මුස්ලිම්)
ඉතා අනතුරුදායක අවස්ථාවලදී පවා නබි (සල්) තුමාණන් පොරොන්දු ඉටු කිරීමෙහි සැලකිල්මත්ව සිටියේය. සතුරන් හට වුවද තමා දුන් පොරොන්දු කඩ නොකිරීමට වඟ බලා ගත්තේය.
ණය ලබා ගෙන එය නිසි කලට නොගෙවන අයටද අහිතකර ප්රතිවිපාක වලට මුහුණ දීමට සිදු වනු ඇත.
"අල්ලහ් වෙනුවෙන් දිවි පිදූ ෂුහදාවරුන්ගේ (ෂහීද් ලෙස මරණයට පත් වූ අය) සියලු පව් සඳහා සමාව දෙනු ලැබේ. නමුත් නොගෙවූ ණය සඳහා සමාවක් නොමැත." යනුවෙන් නබි (සල්) තුමා පවසා ඇත. (මුස්ලිම්)
කතෘ : එම්. ෆස්ලාන් ෆාහිම්
No comments:
Post a Comment