Friday, April 10, 2020

බද්ර් යුද්ධය


මෙය හි.ව.02 රමළාන් මස 17 වන දින සිදු වුවකි. ෂාම් දේශයේ සිට මක්කාව දක්වා යන කුරෛෂිවරුන්ගේ වෙළෙඳ කණ්ඩායමට මඟ අහුරන මෙන් නබි (සල්) තුමාණන් සහාබාවරුන්ට නියෝග කළේය. මෙයට හේතුව කුරෛෂිවරුන්ගේ සිත් තුළ මුස්ලිම් වරුන්ගේ බලය පිලිබඳ බියක් ඇති කල යුතු නිසාය. නබි(සල්) තුමා කිසිවිටක ඔවුන් හා යුධ වැදීමට නොසිතුවේය. කෙසේ වෙතත් මුස්ලිම්වරුන්ට කුරෛෂි වෙළෙඳ කණ්ඩායම මඟ හැරිනි.

මේ පිළිබඳව දැන ගත් වෙළෙඳ කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කළ අබුසුෆ්යාන් ඔවුන් සතුව තිබු ධනය හා වස්තූන් රෑක ගැනීම සඳහා මක්කා වැසියන්ගෙන් සහය පතා දම්දම් ඉබ්නු අම්ර් අල්-කිෆාරි නම්  දූතයා මඟින් පණිවිඩයක් යැවීය. එම පණිවිඩය ලැබූ විගසම සෙබළුන් 1000කින් යුත් කණ්ඩායමක් මක්කාවෙන් පිටත් විය.එම කණ්ඩායමේ ආරක්ෂිත යුධ ඇඳුම් ඇඳ ගත් සෙබළුන් 600ක්ද, ආරක්ෂිත ඇදුම් ඇඳ ගත් අශ්වාරෝහකයන් 100ක්ද, අශ්වයින් 700ක්ද සිටියහ. මීට අමතරව ඔවුන් මුස්ලිම්වරුන්ට විරුද්ධව ශාප කොට කවි (විරිඳු) ගායනය සඳහා කාන්තාවන්ද තම කණ්ඩායමට එක් කොට ගෙන තිබුණි.

මුස්ලිම්වරුන්ගේ බලැණියේ සෙබළුන් සිටියේ 313ක් පමණි. ඔවුන්ගේ වැඩි දෙනෙක් අන්සාරිවරුන්ය. ඔවුන් සතුව තිබුනේ ඔටුවන් 70ක් සහ අශ්වයින් 2ක් හෝ 3ක් පමණි.

නබි (සල්) තුමා මදීනාවෙන් පිටත් වීමට පෙර යුද්ධය නිම වී නැවත පැමිණෙන තෙක් මදීනා වාසීන්ගේ ඉමාම්වරයා ලෙස ඉබ්නු උම්මු මක්තුම් (රළි) තුමා පත් කළ අතර මදීනවේ නායකයා ලෙස අබූ ලුබාබා (රළි) තුමාවද පත් කරනු ලැබුවේය.

මුස්ලිම්වරුන්ගේ සේනාව ප්‍රදර්ශනය කරමින් ධජ 3ක් විය. ඉන් එක් කොඩියක් සුදු පැහැයෙන්ද අනෙක් දෙක කලු පැහැතිද විය. සුදු පැහැති ධජය ඉසිලනු ලැබුවේ මුස්අබ් ඉබ්නු උමෛර් (රළි) තුමා විසිනි. කලු පැහැති ධජයන් දෙක අලි ඉබ්නු අබී තාලිබ් (රළි) තුමා සහ සාද් ඉබ්නු මුආද් (රළි) තුමා හට ලබා දෙන ලදී.

දෙපාර්ශවයම මදීනාවට උතුරින් පිහිටි බද්ර් නම් ස්ථානයට රමළාන් මස 17 වන දින රැස් වුහ. නබි (සල්) තුමා තම සේනාව සමඟ බද්ර් හි තැනිතලා බිමක කඳවුරු බැඳ ගත්තේය. එවිට හබ්බාබ් ඉබ්නු මුන්දිර් (රළි) තුමා "අල්ලාහ්ගේ දූතයාණනි, ඔබ කඳවුරු තනා ඇති මෙම ස්ථානය අල්ලාහ් නියම කළ ස්ථානයක්ද? එය අල්ලාහ්ගේ නියමයක් නම් මෙම ස්ථානයෙන් අඟලක් හෝ ඉදිරියට හෝ පසුපසට නොයන්න. එසේ නොමතිනම්  මෙය ඔබේ යුධ උපක්‍රමයක්ද?" ‍යැයි විමසීය. එවිට නබි (සල්) තුමා මෙය මාගේ යුධ උපක්‍රමයක් යැයි ප්‍රකාශ කළේය. එවිට හබ්බාබ් (රළි ) තුමා ජලය ලබා ගත හැකි ළිං පිහිටා තිබෙන බද්ර් හී නිම්න ප්‍රදේශයේ කඳවුරු බැන්දේ නම් අපට පානීය අවශ්‍යතාවයන් සපුරා ගත හැකි වන සේම කුරෛෂීවරුන්ට ජලය ලබා ගත නොහැකි වන සේ අවහිර කළ හැකි වනු ඇත යැයි යෝජනා කළේය. එම යෝජනාවට නබි තුමාද එකඟ වී නිම්න ප්‍රදේශයේ කඳවුරු බැදීමට අවසර දුන්නේය.

පෙර දින රාත්‍රිය මුළුල්ලේම නබි (සල්) තුමා අල්ලාහ් නමදිමින් දුආ ප්‍රර්ථනයේ නියැළී සිටියේය. 
"යා අල්ලාහ්, ඔබගේ පොරොන්දුව ඔබෙන්ම ඉල්ලා සිටිමි. මෙම සමූහය (ඔබේ මාර්ගයේ සටන් කරන මුඃමින්වරු) විනාශ වී ගියහොත් මේ පොළෝතළයේ ඔබව වන්දනය කිරීමට කවුරුත් නොසිටිනු ඇත." යනුවෙන් අල්ලාහ්ගෙන් බැගෑපත්ව දුආ ඉල්ලුවේය. බොහෝ වේලාවක් සුජූදයේ සිටි නබි (සල්) තුමාණන්ට අබූ බක්කර් (රළි) තුමා "ඔබ දැන් නැගිටින්න. අල්ලාහුතආලා ඔබට වූ පොරොන්දුව නිශ්චය වශයෙන්ම ඉටු කරන්නේය" යනුවෙන් සැනසුම් වදන් පැවසුවේය.

යුද්ධය ඇරඹුණි. ප්‍රථමයෙන් කාෆිර්වරු ද්වන්ධ සටනක් (එනම් දෙපිලේම එක් එක් අයෙකු බැඟින් සටන් කිරීම) සඳහා මුස්ලිම්වරුන්ට අභියෝග කළෝය. ඒ සඳහා කාෆිර්වරුන්ගේ පාර්ශවයෙන් උත්බා ඉබ්නු රබීආ , ඔහුගේ සහෝදර ශයිබා සහ ඔහුගේ පුත් අල් වලීද් යන තිදෙනා ඉදිරිපත් කළෝය. මුස්ලිම්වරුන්ගේ පාර්ශවයෙන් අලි (රළි), හම්සා (රළි) සහ උබෛදා ඉබ්නු හාරිත් (රළි) යන සහාභාවරුන් ඉදිරිපත් කරන ලදී. අලි (රළි) සහ හම්සා (රළි) තම ප්‍රතිවාදියාව පහසුවෙන් ජයග්‍රහණය කළ නමුත් උබෛදා (රළි) තම ප්‍රතිවාදියා හට දරුණු ප්‍රහාර එල්ල කර තිබුනද ඔහුද දරුණු ලෙස තුවාල ලබා සිටියේය. එය දුටු අලි (රළි) සහ හම්සා (රළි) ප්‍රතිවාදියා මරා දමා උබෛදා (රළි) තුමා තම කඳවුර වෙත රැගෙන ගියෝය. මෙම පරාජයෙන් තවත් උරණ වූ කාෆිර්වරු තම සම්පූර්ණ සේනාවත් සමඟ මුස්ලිම්වරුන්ට පහර දීමට පැමිණියෝය.

කිසිදු පෙර පුහුණුවකින් තොරව මුස්ලිම්වරුන් ප්‍රබල කුරෛෂි කණ්ඩායම හා සටන් කර අල්ලාහ්ගේ උදව්වෙන් ජයග්‍රහණය අත්පත් කර ගත්හ. මෙම යුද්ධයේදී මලාඉකාවරුන්ගේද සහය මුස්ලිම්වරුන්ට ලබා දුන් බව අල්කුර්ආනයේ සඳහන් වන්නේය. 
"නබිතුමණි, ඔබගේ දෙවියන් (අහසේ සිට) ඔබලාට සහය පිණිස තුන්දහසක් පමණ මලාඉකාවරු පහළ කළේය. එයම ප්‍රමාණවත් නොවන්නේද? යනුවෙන් ඔබ මුඃමින්වරුන්ට පැවසුවේය. සත්තකින්ම ඔබ අල්ලාහ්ට බිය බැතියෙන් ඉවසීමෙන් යුතුව කටයුතු කරන්නේ නම් විරෝධීන් ඔබ වෙත වේගයෙන් කඩා පැන්නද ඒ අවස්තාවේදී අල්ලාහ් යුද බිමට මලාඉකාවරු පන්දහසක් යවා ඔබට උදවු කළේය. ඔබලාගේ සිත් (එමඟින්) සැනසීමට පත් වේවා. යහපත උදෙසා අල්ලාහ් එම කාර්යය කළේය. ඔබට උදවු කළ හැක්කේ අල්ලාහ්ට පමණි. ඔහු ශක්තිවන්තයාය, ඥානවන්තයාය. (අල්ලාහ් උදවු කිරීමේ අරමුණ) ප්‍රතික්ෂේප කරන්නන්ව විනාශ කර ඔවුන් පරාජය කර පන්නා දැමීමටයි."  (සූරා ආලඉම්රාන් : 123 -127)

කුරෛෂි හමුදාවේ ප්‍රබලයින් වූ අබුජහ්ල්, උත්බා යන අය ඇතුළුව 70කට ආසන්න පිරිසක් මිය ගිය අතර තවත් 70ක් පමණ පිරිසක් සිර භාරයට ගන්න ලදී. මොවුන්ව මුස්ලිම්වරුන් මනුෂ්‍යත්වයෙන් පාලනය කරන ලදී. මොවුන්ගෙන් පිරිසක් දඩ මුදලක් අය කර නිදහස් කළ අතර තවත් පිරිසක් (උගතුන්) මුස්ලිම්වරුන්ට කියවීමට ලිවීමට ඉගැන්වීමේ පොරොන්දුව මත නිදහස් කරන ලදී.

මෙම සටන ඉස්ලාමීය ඉතිහාසයට ප්‍රබෝධමත් ආරම්භයක් හා නැවුම් හැරවුමක් ලබා දෙන්නට සමත් විය. බාල අවදියේ පසු වූ ඉස්ලාම් මෙම ජයග්‍රහණයත් සමඟ මුළු අරාබි ද්වීපයේම ගෞරවයට පත් විය. ඉස්ලාම් නමැති සත්‍ය අසත්‍ය හා යුධ වැදී ජය ගත්තේය.ජාහිලියාවේ අධිරාජ්‍යයට මෙම යුද්ධය හොඳ පාඩමක් විය. මුස්ලිම්වරුන් නබි (සල්) තුමා මත තිබූ විශ්වාසය තවදුරටත්  ශක්තිමත් විය. මදීනාවේ සැඟ වී බියෙන් ජීවත් වු මුස්ලිම්වරුන්ට ධෛර්යයෙන් ඉදිරියට ඒමට මෙය තුඩු දුන්හ. බද්ර් මඟින් ලබා දුන් ජයග්‍රාහී ශක්තිමත් යුද ආරම්භය අනෙකුත් යුධ ජයග්‍රහණ සඳහාද පාදක විය.




තොරතුරු ඉබ්නු කසීර් ගේ උස්වතුර් රසූල් The Battles of the Prophet  ග්‍රන්ථය අනුසාරයෙනි.



උහද් සටන




No comments:

Post a Comment


Popular Posts