වටිනා භාණ්ඩ කොල්ලකෑමේ අරමුණින් කොල්ලකරුවෙක් එක් රාත්‍රියක මාලික් බින් දීනාර්ගේ නිවසේ තාප්පයෙන් පැන පහසුවෙන් නිවස තුළට යාමට සමත් විය. නිවස තුළට ගිය පසු සොරකම් කිරීමට තරම් වටිනා කිසිවක් දැක ගැනීමට නොමැති වීමන් සොරා කලකිරීමට පත් විය. එම අවස්තාවේදී මාලික් බින් දීනාර් සලාතයේ නියැලෙමින් සිටියේය. කාමරයේ තමා තනිව නොසිටි බව වටහාගත් ඔහු ඉක්මනින් යාච්ඤාව අවසන් කර පසුපස හැරුණේය.
කම්පනයක් හෝ කිසිදු බියක් නොහඟවා මාලික් සන්සුන්ව සුභාශිංෂන එක් කරමින්,
“මාගේ සහෝදරයා, අල්ලාහ් ඔබට සමාව දෙනු ඇත. ඔබ මාගේ නිවසට හොරින් ඇතුළු වූ අතර ගත හැකි වටිනා කිසිවක් සොයා ගැනීමට නොහැකි විය. එහෙත් ඔබ යම් ප්‍රතිලාභයක් ලබා නොගෙන පිටව යාමට මා කැමති නැත ." යැයි පවසා ඔහු වෙනත් කාමරයකට ගොස් වතුර පිරවූ බඳුනක් රැගෙන ආපසු පැමිණියේය.
ඔහු කොල්ලකරුගේ දෑස් දෙස බලා, "සහෝදරයා, ඔබ මෙම බඳුනේ ඇති ජලයෙන් වුළු කර රකඅත් 2ක් සලාතය ඉටු කරන්න. මක්නිසාද යත් ඔබ එසේ කළහොත්, ඔබ මුලින් බලාපොරොත්තු වූවාට වඩා විශාල වස්තුවක් මාගේ නිවසින් ඔබ රැගෙන යනු ඇත." යැයි පැවසුවේය.
මාලික් ගේ මෙම ක්‍රියාකලාපය සහ ඔහුගේ වචන වලින් පුදුම වූ කොල්ලකරුවා “ඔව්, එය ඇත්තෙන්ම ත්‍යාගශීලී දීමනාවක්” යැයි පවසා ඔහුගේ ඉල්ලීම ඉටු කළේය.
රකඅත් 2ක් සලාතය ඉටු කිරීමෙන් පසු කොල්ලකරුවා, “අනේ මාලික්, මම තවත් ටික වේලාවක් නැවතී සිටියා නම් කමක් නැද්ද, මන්ද මට තවත් රකඅත් 2ක් සලාතය ඉටු කිරීමට අවශ්‍යයි?” යැයි පැවසුවේය.
එවිට ඔහු, “අල්ලාහ්ගේ නියමය පරිඳි ඔබට සිතැඟි වේලාවක් යාච්ඤා කර ඔබට මෙහෙන් පිටව යා හැකිය. එතෙක් මෙහි රැඳී සිටින්න.” යනුවෙන් පිළිතුරු දුන්නේය.
සොරා මුළු රාත්‍රියම මාලික්ගේ නිවසේ ගත කළේය. ඔහු උදේ වන තුරු දිගටම සලාතයේ නියැලෙමින් සිටියේය. එවිට මාලික්, “දැන් ඔබ පිටත් වන්න. සත් ක්‍රියාවන් වල නිරත වන්න.” යැයි කීවේය.
නමුත් පිටත්ව යනවා වෙනුවට සොරා, “මම අද ඔබ සමඟ මෙහි රැඳී සිටියා නම් ඔබට කමක් නැද්ද? මක්නිසාද මම නිරාහාරව සිට අල්ලාහ් වෙනුවෙන් උපවාසයේ නියැලීමට අදහස් කර ඇත්තෙමි.” යැයි පැවසුවේය.
"ඔබ කැමති තාක් කල් මෙහි රැඳී සිටින්න." මාලික් පැවසීය.
කොල්ලකරු දින ගණනාවක් රැඳී සිටිමින් සෑම රාත්‍රියකම ප්‍රමාද වන තුරු යාච්ඤා කර දිවා කාලයේ නිරාහාරව උපවාසයේ නියැලී සිටියේය. ඔහු අවසානයේ පිටත්ව යාමට තීරණය කළ විට, “මාලික්, මගේ පව් ගැනත්, මගේ පෙර ජීවන රටාව ගැනත් පසුතැවිලි වීමට මම ස්ථිරව අධිෂ්ඨාන කර ඇත්තෙමි." යැයි පැවසුවේය.
“එය අල්ලාහ්ගේ නියමය පරිදිම සිදු වන්නේය.” යැයි මාලික් පැවසීය.
පසුව ඔහු තම ජීවිතය නිවැරදි මාර්ගයට හැඩගස්වා ගෙන අල්ලාහ්ට කීකරු හා ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමට පටන් ගත්තේය.
දිනක් ඔහු තම සඟයෙක් වූ තවත් කොල්ලකරුවෙකු හමු විය. ඔහු “ඔබ සොයා ගිය වටිනා වස්තූන් ඔබට හමු වුනේද?" යැයි විමසීය.
ඔහුට පිළිතුරු දෙමින්, “මගේ සහෝදරයා, මට හමු වූයේ මාලික් බින් දීනාර් ය. මම ඔහුගෙන් සොරකම් කිරීමට ගියෙමි, නමුත් ඔහු මගේ හදවත සොරකම් කළේය. මම මා ගැන සිතා අල්ලාහ් ඉදිරියේ පසුතැවිලි වූ අතර, ඔහුගේ දයාව සහ සමාව ලබා ගන්නා තුරු ඔහුට කීකරු ආදරණීය වහලෙකු සේ ඉවසීමෙන් බලා සිටින්නෙමි. " යැයි පැවසීය.
No comments:
Post a Comment