ලංකාවේ මුස්ලිම්වරුන්ගේ ව්‍යාප්තිය
ක්‍රි.ව. 9 වන හා 10 වන සියවස් වල එනම් අබ්බාසීය පාලන සමයේ ස්වර්ණමය යුගයේ ලංකාවේ විසූ මුස්ලිම්වරුන්ට ඉස්ලාමය ඉගැන්වීම සඳහා කාලිද් ඉබ්නු බකායා නැමැත්තා මෙරටට පැමිණියේ ය. ඉස්ලාමය ලංකාවේ පැතිරවීම සඳහා ගත් ප්‍රථම නිල ප්‍රයත්නය ලෙස මෙය හැඳින්විය හැකිය. මෙහි පදිංචිව ඉස්ලාමය ඉගැන්වූ ඔහු ක්‍රි. ව. 950 දි මියැදුණු බවත් තවමත් දක්නට ලැබෙන ඔහුගේ සොහොන් කොත මේ සඳහා සාක්ෂ්‍යක් ලෙස සලකනු ලැබේ. ඒ සමයේ ගම්පොළ, ගලගෙදර, සබරගමුව යන පෙදෙස් වලින් හමු වූ අබ්බාසීය හා උමෙයියා කාසි වලින් එකල වූ මුස්ලිම්වරුන්ගේ ව්‍යාප්තිය හා අරාබිය සමග වූ සම්බන්ධතාව පැහැදිලි වේ.
අරාබි භූ විද්‍යාඥ අල් ඉද්රීසිට අනුව මහා පරාක්‍රමබාහු රජ සමයේ අපනයන සම්බන්ධයෙන් වූ ප්‍රධාන තනතුර එනම් “අන්තරංගධුර” නම් සභාවේ මුස්ලිම්වරු සිව් දෙනෙකු සිටියහ. එකල රටෙහි ආර්ථිකය සදහා මුස්ලිම්වරු මූලිකව කටයුතු කිරීම මෙයට හේතුව ලෙස සැලකිය හැකිය. පොළොන්නරුව බිඳ වැටීමෙන් පසු රාජධානිය වූ දඹදෙණිය සමයේ ද මුස්ලිම් වරු රාජ්‍ය වෙනුවෙන් සේවය කල බවට සාක්ෂි ඇත. එහි රජ වූ IV විජයබාහු රජු සිය සෙන්පති මිත්ත විසින් ඝාතනය කරනු ලැබූ පසු එම සෙන්පතියා ඝාතනය කර බුවනෙකබාහු රජු බවටත් යාපහුව අගනගරය බවටත් පත් කිරීමට කටයුතු කලේ තාකූර් නම් මුස්ලිම් සෙන්පතියා ය. මෙම කරුණ එන්. ජේ. කරුණාතිලක මහතා තහවුරු කරයි. 1283 වන අවුරුද්දේ ඊජිප්තුව කරා ගිය ලාංකික වෙළඳ කණ්ඩායමේ නායකත්වය අබු උස්මාන් නමැත්තාට ලබා දීම එකල මුස්ලිම් වරු ලබාගත් ප්‍රධානම ගෞරවය ලෙස හැඳින්විය හැකිය.
පසුකාලීනව ලංකාවේ අගනුවර කුරුණෑගල ලෙස තෝරා ගැනීමෙන් පසු එහි රජ වූ II බුවනෙකබාහු රජු, අදිනාවිදින වීර වික්‍රමසිංහ යන ගෞරව නාමයෙන් හැඳින් වූ මුස්ලිම්වරයෙකුගේ දියණිය පාවා ගත් බවට එන්. ජේ. කරුණාතිලක මහතා සිය කෘතියේ සඳහන් කරයි.
එලෙසින්ම ක්‍රි. ව. 1344 වසරේදී මෙරටට පැමිණි ඉබන් බතුතා නම් සංචාරකයා සිය සටහන්වල තමා කුරුණෑගල, ගම්පොළ හරහා ගොස් ශ්‍රී පාදස්ථානය නැරඹූ බවත් පසුව රත්නපුර, දෙවුන්දර, ගාල්ල හා කොළඹ හරහා පුත්තලමට පැමිණි බවත් සඳහන් කරයි. ඒ පෙදෙස් වල හමු වූ මුස්ලිම්වරු හා පිහිටා තිබුණු දේවස්ථාන පිලිබදව ද ඔහු සඳහන් කරයි. ඒ අනුව එම කාලය වන විටත් මුස්ලිම්වරු රටෙහි විවිධ පෙදෙස් වල පදිංචි ව සිටි බව මනාව පැහැදිලි වේ.
පසුව ක්‍රි. ව. 1505 දීී පෘතුගීසීන් ලංකාවට පැමිණීමෙන් පසු ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සිය ව්‍යාපාර කටයුතු වලට බාධාවක් ලෙස මුස්ලිම්වරු සලකනු ලැබුවෝ ය. 1642 වන විට මුස්ලිම්වරු සියලු දෙනා එම පෙදෙස් වලින් පිටමං කරනු ලැබුවෝ ය. එම නිසා මහනුවර වෙත පැමිණි මුස්ලිම්වරුන් මඩකලපුව පෙදෙසේ පදිංචි කරවීමට සෙනරත් රජු ක්‍රියා කළේය. එහි පදිංචි වූ සංඛ්‍යාව 4,000 ක් පමණ වේ. එම වසරේ මාතරදී මුස්ලිම්වරු 200 කට අධික පිරිසක් මිය ගිය අතර කාන්තාවන් හා ළමුන් අත්අඩංගුවට ගෙන කොළඹට ගෙනයනු ලැබුවහ. ඒ අනුව 17 වන සියවස වනවිටත් ලංකාවේ සෑම ප්‍රදේශයකම පාහේ මුස්ලිම්වරු දක්නට ලැබුණහ.
පෘතුගීසීන්ගෙන් පසුව පැමිණි ලන්දේසීන් ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් විවිධ නීති රීති පැමිණ වූ අතර ආනයන අපනයන කටයුතුවලට ද බාධා පැමිණ වූහ. නමුත් ඒ කාලයේ ඉන්දුනීසියාවේ ඇති වූ ප්‍රශ්නයක් නිසා මෙරටට ඔවුන් ගෙන්වා ගැනීම මෙහි මැලේ මුස්ලිම් සමාජයක් බිහි වීමට හේතුවක් විය.
ක්‍රි.ව. 18 හා 19 වන සියවස් වල සමාජීය හා දේශපාලන කටයුතු වල මුස්ලිම්වරුන් ගේ නිරත වීම බහුලව දක්නට ලැබේ. මලය රට ප්‍රධාන තනතුරු කීපයක් ම මුස්ලිම්වරු හෙබවීම මෙයට උදාහරණය ලෙස දැක්විය හැක. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේ මඩිහේ බද්ද නිලමේ නම් තනතුර ෂෙයික් ආලිම් නැමැත්තා ද ඔහුගෙන් පසුව ෂෙයික් අබ්දුල් කාදර් පත් වීමත් මෙම කරුණ මනාව පැහැදිලි කරයි. ලේකම් හා මුහන්දිරම් තනතුරු ද මුස්ලිම්වරු දැරූ බව ලෝනා දේවරාජා සිය කෘතියේ සඳහන් කරයි.
මෙවැනි කරුණු මගින් සනාථ වන්නේ අනුරාධපුර යුගයේ ආරම්භයේ සිට මහනුවර රාජධානියේ බිඳ වැටීම දක්වා මුස්ලිම්වරු මෙරට හෙළයින් සමග සහයෝගයෙන් ද ලංකාව කෙරෙහි දේශප්‍රේමයෙන් යුතුව කටයුතු කළ බවයි.
කතෘ : අරෆත් ෆසාර්
කතෘ : අරෆත් ෆසාර්
👍
ReplyDeleteVery good your wark.
ReplyDelete