Monday, April 13, 2020

සමාව දීම හා ඉවසීම ප්‍රගුණ කරමු


මිනිසුන් වන අප සමූහයක් වශයෙන් ජීවත් වන විට විවිධ පුද්ගලයින් හමු වීමට සිදු වේ. එලෙසම අපගේ ජීවිතයේ නොයෙකුත් සිදුවීම්වලටද මුහුණ දීමට සිදු වේ. විවිධ වැරදි ක්‍රියාවන් අප සිදු කරන්නා සේම අපටද විවිධ අසාධාරණකම්වලට ගොඳුරු වීමට සිදු වේ. එමඟින් අපට භෞතික අලාභයන් මෙන්ම සිත් තැවුලටද පත් වීමට සිදු වේ. මෙමඟින් අපගේ බැඳීම් පවා නැති වන්නේය. මෙවැනි අවස්ථාවන්වලදී කෙසේ කටයුතු කළ යුතුද යන්න ෂරීආව අපට පැහැදිලි කර දෙන්නේය.

අප මිතුරන්, සහෝදර සහෝදරියන්, ඥ්‍යාතීන් යනදී සියලු දෙනා පිළිබඳව යම් යම් බලාපොරොත්තු තබා ඇත්තෙමු. ඒවා ඉටු නොවූ අවස්ථාවන්වලදී කෝපයට පත් වී අනෙක් මිනිසුන්ගේ සිත් රිදවන අයුරින් කතා කරන්නෙමු. එමඟින් නොයෙකුත් ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වේ.

නබි (සල්) තුමා වෙත අයෙක් පැමිණ "මට උපදෙස් ලබා දෙන්න" යැයි පැවසුවේය. එවිට නබි (සල්) තුමා "කෝප නොවන්න" යනුවෙන් උපදෙස් ලබා දුන්නේය. ඔහු නැවතත් "මට උපදෙස් ලබා දෙන්න" යැයි කිහිපවරක් ඉල්ලා සිටියේය. නබි (සල්) තුමාණන්ද "ඔබ කෝප නොවන්න" යනුවෙන් නැවත නැවත පිළිතුරු දුන්නේය.  (බුහාරි)
"මල්ලවපොර තරගයකදී ජයග්‍රහණය කරන්නා සැබෑ වීරයෙකු නොවේ. කවරෙකු තමා කෝපයට පත් වූ අවස්ථාවක ඉවසා සිටින්නේද ඔහුමය සැබෑ වීරයා" යනුවෙන් නබි (සල්) තුමාණන් පැවසූහ. (බුහාරි) 

 කෝපය පාලනය කිරීම සහ සමාව ලබා දීම පිළිබඳව අල් කුර්ආනයේ මෙලෙස සඳහන් වන්නේය.
"තවද ඔවුනට කෝපය ඇති වූයේ නම් (පළි නොගෙන) සමා කරන්නෝය." (42:37)
"කවරෙක් ඉවසීමෙන් හිඳ සමා කරයිද, නියතව මෙය ශක්තිමත් කාර්යයන් අතර ඇත්තකි" (42:43) 
 "ඔවුහූ පොහොසත් වුවද දුප්පත් වුවද (යහකම්හි) වියදම් කරන්නෝය. තවද කෝපය පාලනය කර මිනිසුන්ට ක්ෂමා කරන්නන් ලෙසද සිටින්නෝය." (3:134)

මෙමඟින් වැරදිවලට සමාව ලබා දීම කෙතරම් ශ්‍රේෂ්ඨ වන්නේද යන්න සහ ඒ සඳහා කුලිය අල්ලාහ් ලබා දෙන බවද මෙම අල් කුර්ආන් වාක්‍ය මඟින් පැහැදිලි වන්නේය.

එක් මුස්ලිම්වරයෙකු තවත් මුස්ලිම්වරයෙකු සමඟ දින 3 කට වඩා තරහ වී සිටින්නේය. ඔවුන් දෙදෙනා මුණ ගැසුන අවස්ථාවක එකිනෙකා අනෙකා ප්‍රතික්ෂේප කරමින් සිටී. මෙවැනි අවස්ථාවක පළමුව සලාම් පවසන්නා ඔවුන් අතරින් ශ්‍රේෂ්ඨ වන බව නබි (සල්) තුමාණන් පැවසුවේය. (බුහාරි, මුස්ලිම්)
සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනවල ස්වර්ගයේ දොරටු විවෘත වන්නේය. අල්ලාහ්ට ආදේශ නොතැබූ සියලු භක්තිකයන් හට සමාව ලබා දෙනු ඇත. නමුත් තම සහෝදරයා සමඟ උරණ වී ඇති පුද්ගලයන් හට සමාව නොලැබෙනු ඇත. එවිට මෙම දෙපල සම්මුතියකට එළඹීමට අවකාශය සලසන්න යැයි නබි (සල්) තුමාණන් තෙවරක් පැවසුවේය. (මුස්ලිම්) 

එබැවින් සමාව දීම සහ ඉවසීම යන ගුණංගයන්හි වැදගත්කම හා ඒවා නොමැති වීමෙන් ඇති වන ප්‍රතිවිපාක පිළිබඳ අවබෝධ කර ගෙන මෙම ගුණංගයන් ප්‍රගුණ කිරිමට උත්සහ කරමු.




No comments:

Post a Comment


Popular Posts